Thursday, December 11, 2008

බුදු සමයේ දඹදිව.........

බෝසතානන් උපන්නේ උතුරු දඹදිව රාජ පරම්පාවකටය. ඉතා උසස් යයි සම්මත ශාක්‍ය වංශයේ පවුලක එතුමා උපත ලද්දේය. සමාජයීය වශයෙන් යම් පරිවර්තන කිහිපයක් මෙකල සිදුවිය. ප්‍රධාන ආර්ථික ක්‍රමය වන කෘෂිකර්මය පරයා මුදල් මත සැකැසුණු වාණිජ ක්‍රමයක ආරම්භය මෙකල සිදුවූ ප්‍රධාන සමාජ විපර්යාසය විය. ඒ සමග බිහිවූයේ නවීන 'වාණිජ' සමාජයකි. උසස් කුලවලට අයත් වැසියන්ට නවීන ආර්ථික ක්‍රම පිළිගැනීමටත්, ඒවා අත් හදා බැලීමටත් සිදු විය. පැරණි ආර්ථිකය බිඳ වැටීමත් සමගම එකල පැවති අනෙක් සමාජයීය මතාන්තර, සිද්ධාන්ත, සංස්කෘතික සහ ආගමික වත් පිලිවෙත් ආදී දෑ සියල්ලම දෙස විචාරාත්මක බලන්නට සමාජය පටන් ගත්තේය. පැරණි සම්ප්‍රදායයන්, විශ්වාස, ආගමික හා සංස්කෘතික සිද්ධාන්ත එකිනෙක බිඳවැටෙන්නටත්, නවීන මතාන්තර මතුවෙන්නටත්, නව විද්‍යාවන් බිහිවෙන්නටත් පටන් ගත්තේය. තාරකා ශාස්ත්‍රය එකල දඹදිව ප්‍රධාන විද්‍යාව විය. ග්‍රහයින් ගමන් කරන ආකාරය, සහ නවීන ගණිත ක්‍රම මගින් ඒවා පිලිබඳව අනාවැකි පහල කිරීම ආදී වශයෙන් කාලය කල්ප (aeons) ගනන් වලින් මැනීම මෙකල සිදුවූ සමාජ විපර්යාසයන්ය. එකල විසූ දාර්ශනිකයෝ, කාලානුරූපව "මිනිස් ජීවිතයේ 'පරම සුඛය' කෙසේ ලබා ගත හැකිද? යන ප්‍රශ්නයට පිළිතුරු සොයමින් සිටියහ.

මේ දාර්ශනිකයන් ප්‍රධාන් වශයෙන් දෙකොටසකට වෙන් වී තිබුණි.

1 ගතානුගතික, පුරාණ වේද ක්‍රම භාවිතා කරන බ්‍රාහ්මණයින්

2 වේද ශාස්ත්‍රයේ සත්‍යතාවය පිළිබඳව නිරතුරුවම ප්‍රශ්න නගන සමණ (ශ්‍රමණ ) නම් වූ අලුත් සංහිතාය

වේද ශාස්ත්‍රයන්හි විශ්වාසය තැබූ බ්‍රාහ්මණයෝ සම්ප්‍රදාය පරිදි ඔවුන්ගේ යාග හෝමයන්හි නිරත වූහ. ඒ ගැන විශ්වාසයක් නැති අනෙක් දාර්ශනිකයෝ (ශ්‍රමණයෝ ) නිදහස් චින්තනයෙන් යුතුව, භාවනා ආදී සිත පාලනය කිරීමේ ක්‍රියාවලින්ද, විද්‍යාත්මක චින්තන, සහ ගතානුගතික නොවූ සාක්ෂි සලකා බැලීමෙන්ද යුක්ත වූහ. මේ කාලය අතරතුර 'වේද' සහ 'ශ්‍රමණ' යන මේ කොටස් දෙක අතර සෑහෙන ප්‍රමාණයක වෙනස්කම් හා මතභේද ඇති විය.

1. මරණින් මතු පැවැත්ම:
වේද ශාස්ත්‍රධාරී බ්‍රාහ්මණයෝ උත්පත්තියට පෙර හා මරණින් මතු ජීවය එකම ස්ථානයකට රැස් වන බව විශ්වාස කලහ. පුනරුත්පත්තිය ඔවුන් විශ්වාස කලහ. ශ්‍රමණයෝ පුනරුත්පත්තිය විශ්වාස කල අතර එකම තැනකට ජීවය එක්වන බව විශ්වාස නොකලහ. ජීවත්ව සිටිද්දී තමන්ගේ ක්‍රියාවන් අනුව එය වෙනස් වන බව විශ්වාස කලහ.

2. ලෝකායතනයන් යන නමින් තවත් කොටසක් විය. ඔවුන්ගේ විශ්වාසය මරණින් ජීවිතය කෙලවර වන බවත් මෙලොව සැපත බලාපොරොත්තු විය හැකි එකම සැපත බවත් කාමාසාවන්හි ඇලී ගැලී වාසය කලයුතු බව ඔවුන්ගේ විශ්වාසය විය.



3. මේ ජීවිතය ගත කරන විට සිදුකරන ක්‍රියාවන් මරණින් මතු බලපාන බව ලෝකායතනයන් හැර අන් සියලුම දාර්ශනිකයෝ විශ්වාස කලහ. (හේතු ඵල දහම)

හේතු ඵල දහම බලපාන හැටි එකිනෙකා අතර වෙනස් විය.

සිදුහත් කුමරුන්ගේ මහාබිනිෂ්ක්‍රමණය මේ සියලුම කරුණු සලකා බැලීමෙන් සිදුවූ බවට සිතා ගත හැක.

5 comments:

jayantha colombage said...

ඉතා අගනා ලිපියක් වූවා කියා සතුටක් දැනුනා. සරත් මහත්මයානනි.
ඔබට තෙරුවන් සරණයි.

සරත් ගුණතුංග said...

හේම ජයන්ත මහත්මයෝ, මට ධෛර්ය දීම ගැන බොහොම පින්. මම කල්පනා කරේ, අපේ රටේ තරුණ මහත්වරු අතරත් ඉන්නව සත්‍යය සොයා යන අය. ඒ මහත්වරුන්ට ටිකක් මග පෙන්නුවොත් හොඳයි කියල. තේරෙන අන්දමට සරළව මට පුලුවන් දෙයක් මමත් ලියන්නම්. පොතපත හොයාගන්න උදව් කරන්නම්. බුදුන් වහන්සේ ලොවට බිහිවුනු ප්‍රථම රහතන් වහන්සේ හැට නම ධර්මය ප්‍රචාරය කිරීම සඳහා එක පාරකින් දෙනමක් නොයන්න කියල ඇරිය නම් අපිත් සුලුවෙන් හරි මේ වගේ කාලයක මොනව හරි ප්‍රයෝජනවත් දෙයක් කරන්න ඕන.
ඔබට තෙරුවන් සරණයි

Chanaka Aruna Munasinghe said...

ධර්ම කරුණු සිංහලෙන් ලියන එක ඉතාම හොඳ වැඩක්.

ඉස්කෝලෙ යන කාලෙ ධර්මය ඉගෙන ගත්තෙ හරි අවබෝධයක් නැතුව. ගොඩක් වෙලාවට කරේ විභාග පාස් වෙන්න ඕනෙ නිසා කරුණු කටපාඩම් කරපු එක.

ඒ කාලෙ පොඩි නිසා ජීවිත අත්දැකීම් අඩු හින්ද ධර්ම කරුණු ගැන තර්කානුකූලව හිතන්න හැකියාවක් තිබ්බෙ නැහැ.උදාහරණයක් විදිහට චතුරාර්ය සත්‍ය කටපාඩම් කලා විතරයි. හැබැයි ඒක ඇත්තම ඇත්ත කියල තේරුම් ගනිමින් පවතින්නෙ ජීවිත අත්දැකීම් එක්ක ගලපලා දැන් දැන්..

පොඩි කාලෙ තෙරුමක් නැතුව කට පාඩම් කරපුවා ආපහු බලන්න තියෙනවනවනම් හොඳයි.

සරත් ගුණතුංග said...

අනේ චානක මහත්මයෝ මම කියලත් වෙනසක් නැහැ. දුක්ක, සමුදය, නිරෝද මාර්ග කියල ගිරව වගේ කියෙව්වට, තේරුමක් ඇතුව කියෙව්ව නෙවෙයි. දැනට අවුරුදු 20 කට ඉස්සෙල්ල තමයි මගෙත් ඇස් ඇරුනෙ. ජීවිතයේ යම යම් වේදනාකාරී දේවල් නිසාත්, මට හමු වී ඇති රෝගීන්ගේ දුක්ඛ දායක අවස්ථා නිසාත් මම ආගමට නැඹුරු වුනේ එතෙන්දි. ඔන්න මම කියවන්න පටන්ගත්ත, භාවනා කරන්න පටන් ගත්ත, එතකොට මම අවබෝධයෙන් ආපහු බෞද්ධයෙක් වුනා. ලංකාවෙ මහමෙව්නා වෙබ් අඩවියේ තියෙනව නොයෙක් ආකාරයේ ඉගෙන ගැනීමට අවශ්‍ය දේවල්. ඒවත් කියවන්න. අපිත් පුලුවන් උදව්වක් කරන්නම්. හැබැයි පස්සෙ කරන්නම් කියල ඉන්න නම් එපා. හිතන්නවත් ඉස්සෙල්ල, කාලෙ ගතවෙනව. අදම පටන් ගන්න. තෙරුවන් සරණයි.

Bo said...

සිංහලෙන් ලියා දැක්වීම ගොඩක් හොඳයි මාමා,දහම් පාසැලේදී වුවද අපි අවබෝදයෙන් දහම ඉගෙන ගත්තේ නෑ, එතනත් තිබ්බේ තරඟ, විභාග සඳහා ඉගෙන ගැනීමක්. එනිසා මේ කරුණු සිංහලෙන් කියවන්න ලැබීම බොහෝ වටිනවා. ඔබට පිං !