Saturday, April 16, 2011

ආනන්ද මහ රහතන් වහන්සේ ……5

ආනන්ද මහ රහතන් වහන්සේ ……5


වර්තමානයේදී මෙන්ම, බුදු රජාණන් වහන්සේ ජීවත්ව සිටි කාලයේදීත් ගංගාවක බැසයන ජලය උදෙසා, එමෙන්ම යම්කිසි භූමියක මායිම් උදෙසා ආරාවුල් පැන නැගුනු බවට ඉතිහාසය සාක්ෂි දරයි.  ශාක්‍ය හා කෝලිය වංශිකයින් රෝහිනී නදියේ ජලය බෙදාගත නොහැකිව අරගලයක් ඇරඹූහ.  මේ අරගලය දුරදිග ගොස් ඔවුනොවුන් ඇණකොටා ගන්නා තරමටම උණුසුම් විය.  බුදු රජාණන් වහන්සේ මැදිහත්ව, වඩා වටිනා කමක් ඇත්තේ ජලයටද, මිනිස් ජීවිතවලටද වශයෙන් කරුණු පැහැදිලි කොට දහම් දෙසා වදාල සේක.  කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව දෙපක්ෂයම බුදු රජාණන් වහන්සේගේ අවවාද පිලිගත්හ.  දෙපක්ෂයෙන්ම පන්සියයක් පමණ වූ කුමාරවරු පැවිදි බවද ලබා ගත්හ.  මෙසේ සිය සැමියන්, විවාහ ගිවිස ගත් කුමාරවරු ගිහිගෙය හැරගිය පසු, ඔවුන්ගේ බිරින්දෑ වරු, විවාහ වීමට බලාපොරොත්තුව සිටි කුමරියන් මහා ප්‍රජාපතී ගෝතමී බිසොවුන් වහන්සේ වෙත එළඹ සිය කනස්සල්ල ප්‍රකාශ කලහ.  දේවීන් වහන්ස, ඔබගේ සැමියා, ශුද්ධෝදන රජතුමා පිරිනිවන් පා ඇත.  ඔබ තුමිය දැන් ස්වාමියෙකු නැති ස්ත්‍රියකි.  අපගේ ස්වාමියෝද අපව හැර දමා පැවිදි වී ඇත.  අපි මෙසේ සිටිනවාට වඩා බුදු රජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි වුවහොත් යෙහෙකියයි පැවසූහ.   මහා ප්‍රජාපතී දේවීන් වහන්සේද එකහෙලාම ඒ අදහස අනුමත කලාය.  ඉන්පසු පන්සියයක් පමණ වූ රාජකීය කුලකාන්තාවන් සමග මහා ප්‍රජාපතී ගෝතමී බිසොවුන් බුදු රජාණන් වහන්සේ හමුවට ගොස්, "ස්වාමීනි බුදු රජාණන් වහන්ස, මගේ සැමියා ශුද්ධෝදන රජතුමා අර්හත් ඵලය ලබාගෙන පිරිනිවන් පා ඇත.  රාහුල කුමාරයාත් නන්ද කුමාරයාත් ඔබ හා සමග පැවිදි වී ඇත.  මට මාලිගයේ තනිව සිටිනු නොහැකිය.  මේ සමග සිටින මේ කුල කාන්තාවන්ටද සැමියන් නැත, ඔවුන් ඔබ වහන්සේගේ සසුනේ පැවිදි වී ඇත.  අපිට අනුකම්පා කොට අපටද පැවිද්ද ලබා දෙනු මැනැවැයි ආයාචනා කලහ.  බුදු රජාණන් වහන්සේ වෙන කාටවත් වඩා හොඳින් එකල දඹදිව කාන්තාවන්ට තිබුණු සමාජ තත්වය ගැන දැන සිටියහ.  සමාජයේ ඔවුන්ගේ තත්වය උසස් කිරීමට උන්වහන්සේ නිතරම ක්‍රියා කලහ.  පසු කලෙක ඇති විය හැකි ගැටලු ගැන සලකා ඒ අවස්ථාවේ කාන්තාවන්ට පැවිද්ද ලබා නොදීමට උන්වහන්සේ තීරනය කල සේක.  මහා ප්‍රජාපතී ගෝතමී බිසව කිහිප වතාවක්ම බුදු රජාණන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියාය. නමුත් ඒ අවස්ථාවේ එය ඉටු වූයේ නැත.   ඉන් ඉක්බිති  බුදු රජාණන් වහන්සේ කපිලවස්තු පුර නිග්‍රෝධාරාමයෙන් නික්ම විසාලා මහනුවර දෙසට වැඩම කලහ. 

ඒ තීරණයෙන් අතිශය ශෝකයට පත් ඒ කුල කාන්තාවෝ, පසු දිනෙක ඔවුන්ගේම කැමැත්තෙන් හිස මුඩු කොට ගෙන, කසාවතින් සැරසී විසාලා මහනුවර දිසාවට ගමන් කලහ.  ශුද්ධෝදන රජ මාලිගයේ ප්‍රථම පෙරලිය වූයේ බුදු රජාණන් වහන්සේ ගිහි කල විසූ සුඛෝපභෝගී ජීවිතය හැරදමා බුද්ධත්වය ලැබ, කපිලවස්තුපුරයෙහිම, වීදිවල පිඬු සිඟා වැඩීමය. මෙයින් අතිශයින්ම කම්පාවට පත් වූයේ ශුද්ධෝදන රජතුමාය.    ඊලඟ පෙරලිය වූයේ රාජකීය කුල කාන්තාවෝ කසාවතින් සැරසී හිස මුඩු කොට ගෙන ඉතාමත් සංවර ලීලාවෙන් බිම බලාගෙන විසාලා නුවර දෙසට ගමන් කරන විටදීය.
 අද මෙන් එදා ඔවුන් මිට මොලවාගෙන  සටන් පාඨ කියවූයේ නැත. 

“….අපට පැවිද්ද දෙනු. නැතහොත් අපේ සැමියන් දෙනු ….”  යන වශයෙන් දැන්වීම් පුවරු අල්ලා ගෙන සිටියේද නැත. 

මේ කුල කාන්තාවන්ගේ ගමන ලැව් ගින්නක් මෙන් පැතිර ගියේය.  ශාක්‍ය හා කෝලිය රාජ වංශිකයෝ ඔවුන්ගේ රථ රැගෙන පැමිණ ඒ කාන්තාවන්ට ඒ රථවලට නගින ලෙස ඉල්ලා සිටියහ.  නමුත් ඔවුන් පයින්ම ගමන් කලහ.   ඔවුන්ගේ සිල්වත් බවින් වශී වූ මග දෙපස සිටියවුන් ඔවුන්ට වන්දනාමාන කලහ.  සියුමැලි සිරුරු ඇති ඒ කාන්තාවෝ යොදුන් පනස් එකක් මග ගෙවා විසාලා මහනුවර කූටාගාර ශාලාවට සැපත් වූහ.  ඔවුන් එකවරටම බුදු රජාණන් වහන්සේ හමුවට නොගොස් ආනන්ද තෙරුන් වහන්සේ හමුවූහ.  ලේ ගලන දිය බුබුලු සහිත ඔවුන්ගේ පා දැකීමෙන්  ආනන්ද තෙරුන් වහන්සේ මහත් සේ කම්පාවට පත්වූහ.  "මෑණියෙනි කුමක් සිදු වූයෙහිද?.." ඔබ ක්ෂත්‍රිය කුලයෙන් නෙරපණු ලැබීද නැතහොත වෙන යම්කිසි ආපදාවක් ඔබට සිදුවීදැයි ආනන්ද තෙරුන් වහන්සේ විචාලහ.  පුතනුවනි, ආනන්ද තෙරුන් වහන්ස, අපට එසේ ආපදාවක් සිදූ වී නොමැත. අපි කුලයෙන් නෙරපන ලද්දේද නැත.  මම තුන් වතාවක් පැවිද්ද ඉල්ලා බුදු රජාණන් වහන්සේට බැගෑපත් වුනෙමි.  නමුත් මට පැවිද්ද ලැබුණේ නැත.  පැවිදි වූවෙකු සේ ජීවිතය ගත කිරීමට සිතාගෙන මේ කුල කාන්තාවන් සමග පැමිණියෙමි.   ආනන්ද තෙරුන් වහන්සේ ඔවුන්ට මඳක් සිටින සේ අවවාද කොට බුදු රජාණන් වහන්සේ හමු වීමට ගියහ.  " ස්වාමීනි බුදු රජාණන් වහන්ස, ඔබ වහන්සේගේ සුලු මව වන ප්‍රජාපතී ගෝතමී බිසොවුන් වහන්සේ ඇතුලු පන්සියයක් පමන වූ කාන්තාවෝ කසාවතින් සැරසී පැවිද්ද පතා මෙහි පැමින සිටිති.  යොදුන් පනස් එකක් ගමන් කොට ඔවුන්ගේ පා වල දිය බුබුලු ඇත.  සමහරුන්ගේ පාවලින් රුධිරය වෑහේ.  ඔවුන්ට අනුකම්පා කල මැනවි...." සසුනට කාන්තාවන් ඇතුලත් කර නොගන්නා ලෙස දෙවරක් බුදු රජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට අවවාද කල සේක.  නමුත් බුදු රජාණන් වහන්ස, කාන්තාවක් පැවිදිව භාවනා කොට සකෘදාගාමී අනාගාමී වශයෙන් ඵල ලබා ගත හැකිදැයි ආනන්ද තෙරුන් බුදු රජාණන් වහන්සේ ගෙන් විචාලේය. ".. එසේය එය සිදුවිය හැකියයි බුදු රජාණන් වහන්සේ පිලිතුරු දුනි.   "බුදු රජාණන් වහන්ස, ප්‍රජාපතී ගෝතමී බිසොවුන් වහන්සේ ඔබ වහන්සේගේ මෑණියන් මිය ගිය පසු ඇයගේම පුත් නන්ද කුමරු වෙන කාන්තාවන් භාරයේ තබා, ඇයගේම කිරි දී ඔබවහන්සේ ඇතිදැඩි කලාය.  ඇයට අනුකම්පා කොට පැවිදි කල මැනැවැයි තවත් වරක් ඉල්ලා සිටියේය.  ආනන්ද, එසේ නම් පෙර සිටි බුදු වරුන් භික්ෂූනී සාසනය පටන් ගැනීමට පෙර පනවන ලද නීති අටක් ඇත.  ප්‍රජාපතී ගෝතමී ඒ නීති වලට එකඟ වෙයි නම් ඇයව පැවිදි කරවමි යයි පැව්සූ සේක.  ප්‍රජා පතී ගෝතමී එකහෙලාම ඒ නීති වලට එකඟ වූවාය.  ඒ සමග සිටි අනෙක් කුල කාන්තාවන්ද ගෞතම බුද්ධ සාසනයේ මෙහෙණියන් වූහ. 

පැවිද්ද ලබා නොබෝ දිනකින් ප්‍රජාපතී ගෝතමී තෙරණිය රහත් වූවාය.

එකරටම කෙනෙකුට පෙනීයන්නේ බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ට නොසලකා හැරී බවකි.  එය එසේ නොවේ.  උන්වහන්සේ එදා කාන්තාවන්ට දඹදිව තිබූ සමාජ තත්වය ඉතා හොඳින් දැන සිටි සේක.  කාන්තාව උසස් තත්වයක තැබීමට උන්වහන්සේ කිසි විටෙක අතපසු නොකල සේක.  අපට නොපෙනෙන දේවල් උන්වහන්සේ දැන සිටි සේක.  මහා ප්‍රජාපතී ගෝතමී අර්හත් තෙරණිය පිරිනිවි පසු ඒ තෙරණියන්ගේ ආදාහන පෙරහැරේ බුදු රජාණන් වහන්සේ ගමන් ගත් සේක.  ඒ තෙරණියන් ආදාහන කල පසු ඒ භෂ්මාවශේෂ සිය පාත්‍රයේ බහා ලිච්චවි රජ දරුවන්ට දී සෑයක් කරවන ලෙසට බුදු රජාණන් වහන්සේ කටයුතු සලසන ලදී.  ඒ සෑය බුදු රජාණන් වහන්සේ විසින් වන්දනා කරන ලද බවට බෞද්ධ ඉතිහාසය සාක්ෂි දරයි.

2 comments:

කතන්දර Kathandara said...

මේව ලියල දාලා තියෙන එක හොඳයි. කවුරු හරි සර්ච් කරලා බලනකොට කවදා හරි අහුවෙයි නේ!

අපි අපි වගේ... said...

ඇත්තටම හොඳ වැඩක්.සුබ පතනවා ඉති සිතින්ම!