Saturday, January 24, 2009

නිවණ සොයා ….3

සමාවන්න, 'නිවණ සොයා' යන මාතෘකාව යටතේ අවසන් සටහන පලවූයේ දෙසැම්බර් මස මුලදීය. වැඩ අධික කම නිසා මීට කලින් මේ සටහන ඉදිරිපත් කිරීමට අපහසු විය. පසුගිය සටහනේ අවසානය වූයේ මහ බෝසතාණන් වහන්සේ පස්වග තවුසන් විසින් හැරයාමය. අද එතැන සිට...........................
බුද්ධත්වයට පත් වූ පසු බුදුරජාණන් වහන්සේ, මජ්ජිම නිකායේ, මහා යමක වර්ගයේ මහා සච්චක සූත්‍රයේ (මහා සච්චක සූත්‍රය- 1.4.6.මජ්ජිම නිකාය) දීර්ග වශයෙන්, බුද්ධත්වයට පෙර සිදුවූ කරුණු නිගන්ඨනාථ පුත්‍ර ශ්‍රාවකයෙක් වූ සච්චකට විස්තර කොට ඇත. " අග්ගි වෙස්සන, මා විසින් කරණ ලද්දා වූ දුශ්කර ක්‍රියාවන්ගෙන් කිසිම යහපතක් වුනේ නැහැ. මම බඩේ හම අතගාන කොට මට අහුවුනේ මගේ කොඳුඇට පෙල. මගේ රෝම කූප පිරිමදින විට ඒවා දිරල නිසා ඉතා පහසුවෙන් ගැලවිලා අතට ආවා. ඒ සමගම මට මතක් වුනා මම මගේ පිය රජතුමාගෙ වප් මගුල දවසෙ, ඒ ජම්බු ගස් හෙවනෙ හිටියා මතකයි. මානසික ප්‍රීතිය සහිතව, අකුසල් වලින් වෙන්ව, විතර්ක විචාර සහිත, පලමුවැනි ධ්‍යානයට සමවැදුනු හැටි සිහි වුනා. ඒ සමගම මට දැනුනා සත්‍යාවබෝධයට මේක තමයි මාර්ගය කියල.
ශරීරය ටිකක් ශක්තිමත් වෙන්නෙ නැතිව මට ශක්තියක් නැහැ කියලත් මට කල්පනා වුනා. ඉතින් මම බත්, මාලුපිණි ආදිය අනුභව කරන්න පටන් ගත්තා. එතකොට තමයි මට සාත්තු කර කර හිටිය කොණ්ඩඤ්ඤ, වප්ප භද්දිය, මහානාම, අස්සජි යන තාපස වරු මාව අත් හැරලා ගියේ. ඒ වුනාට මම පසුබට වුනේ නැහැ.

මම ශරීර ශක්තිය ඇති වුනාට පස්සෙ, කාමයන්ගෙන් වෙන්ව, අකුසල්වලින් වෙන්ව, විතර්ක විචාර සහිත, මානසික විවේකයෙන් හටගත් ප්‍රීතිසැපය ඇති පළවෙනි ධ්‍යානය ඇතිකරගෙන වාසය කළා. එහෙම වුනත් මගේ සිත අභිබවා යන්න අපහසු වුනා.
විතර්ක, විචාර සංසිඳුවලා, හිතේ ප්‍රසන්නභාවය ඇතුව, සිතේ එකඟ බවත් ඇතුව, විතර්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිසැපය ඇති දෙවන ධ්‍යානය ලබාගෙන වාසය කළා. පින්වත් අග්ගිවෙස්සන, ඒ සා සැප වේදනාවකට වත් මේ සිත මැඩ පවත්වන්න බැරුව ගියා. මගේ සිත අභිබවා යන්න අපහසු වුනා.

ප්‍රීතියටත් ඇලෙන්නෙ නැතුව උපේක්ෂාවෙන් හිටියා. සිහියෙන්, නුවණින් යුතුව, කයෙනුත් සැපයක් වින්දා. ආර්යන් වහන්සේලා ඒකට කියන්නෙ උපේක්ෂාවෙන්, සිහියෙන් යුතුව සැපසේ ඉන්නවා කියලයි. ඒ තුන් වෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කළා. මේ සා සැප වේදනාවකටවත් මේ සිත යට කරගන්න බැරුව ගියා.
සැපයත් ප්‍රහාණය කරලා, දුකත් ප්‍රහාණය කරලා, කලින් ම මානසික සැප දුක් අත්හැරලා, දුක් සැප රහිත පිරිසිදු උපේක්ෂාවත්, සිහියත් ඇති හතර වන ධ්‍යානය ලබාගෙන වාසය කළා.
පින්වත් අග්ගිවෙස්සන, මේ සා සැප වේදනාවකටවත් බැරුව ගියා මගේ සිත යට කරන්න. ඔය විදිහට මේ සිත සමාධිගත වුනාට පස්සෙ පිරිසිදුව බබළන්න වුනාට පස්සෙ, උපක්ලේශ රහිත වුනාට පස්සෙ, මෘදු වුනාට පස්සෙ, අවබෝධයට සුදුසු වුනාට පස්සෙ, ස්ථීරව පිහිටියාට පස්සෙ, අකම්පිත වුනාට පස්සෙ, පෙර විසූ ජීවිත ගැන අවබෝධ කරන්න හිතල, ඒකට සිත යොමු කළා. මං නොයෙක් ආකාරයෙන් පෙර විසූ ජීවිත ගැන දැනගත්තා. ජීවිත එකක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත හතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතළිහක්, ජීවිත පහනක්, ජීවිත සියයක්, ජීවිත දෙසීයක්, ජීවිත තුන් සියයක්, ජීවිත හාරසියයක්, ජීවිත පන්සියයක්, ජීවිත දහසක්, ජීවිත ලක්ෂයක්, නොයෙක් සංවට්ට කල්ප, නොයෙක් විවට්ට කල්ප, නොයෙක් සංවට්ට විවට්ට කල්ප සිහි කරන්න පුළුවන් වුනා. ‛ඒ කාලෙ මගේ නම මේකයි. මගේ ගෝත්‍රය මේකයි. මෙහෙමයි මගේ හැඩරුව. මම කෑවෙ බීවෙ මේවා. මෙහෙමයි මං සැප වින්දෙ. මෙහෙමයි මැරිල ගියේ. මං එතනින් චුත වෙලා අසවල් තැන උපන්නා. එහෙදි මගෙ නම මේකයි. මගේ ගෝත්‍රය නාමය මේකයි. මගේ හැඩ රුව මෙහෙමයි. මම කෑවෙ බීවෙ මේවා. මෙහෙමයි මං සැප දුක් වින්දෙ. මං මෙහෙමයි මැරිල ගියේ. මං එතනින් චුත වෙලා, මෙතන උපන්නා’ කියල, ඔය විදිහට කරුණු සහිතව, විස්තර සහිතව නොයෙක් ආකාරයෙන් පෙර ගත කළ ජීවිත ගැන සිහි කළා. පින්වත් අග්ගිවෙස්සන, එදා රෑ පළවෙනි යාමයේ දී මට ඔය පළවෙනි විද්‍යාව වන පුබ්බේනිවාසානුස්සති ඤාණය අවබෝධ වුනා. (පෙර ජීවිත ගැන තිබුන) අවිද්‍යාව දුරු වුනා. විද්‍යාව පහළ වුනා. අඳුර දුරු වුනා. ආලෝකය උදා වුනා. අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව, දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන කෙනෙකුට ලැබිය යුතු දේ තමයි ඒ ලැබුනෙ. පින්වත් අග්ගිවෙස්සන, මේ සා සැපයකට පවා බැරි වුනා මගේ සිත යට කරන්න.

තව කොට්සක් ලඟදීම...............
සිදුහත් කුමරුන්ගේ මව් පස පරම්පරාව.



සිදුහත් කුමරුන්ගේ පිය පස පරම්පරාව.




1 comment:

හේමරාජි ගුණසේකර said...

සරත් ගුණතුංග මහත්මය‍ාණෙනි, ඔබ‍ගේ මෙම ලිපි පෙළ ඉතාමත් කැමැත්තෙන් කියවමි. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ අති නිර්මල වු ජීවිත කතාව මේසේ ලිපි වශයෙන් කියවීමට සැලැස්වීමෙන් ඔබ මහත් වු කුසලයක් අත් කර ගන්නවා සේ ම අපටත් මෙය කියවීමෙන් මහත් කුසලයක් ඇතිවේ. ඔබට බොහෝ පින්.
තෙරැවන් සරණයි