Friday, December 26, 2008

නිවණ සොයා...2

උද්දක රාමපුත්‍රයන්ගෙන් සමුගත් මහබෝසතානන් වහන්සේ නැවතත් තමන් වහන්සේ සොයන්නා වූ නිවණ සොයා මහමගට බට සේක. මගධ ප්‍රාන්තය පුරා සැරිසරා උන්වහන්සේ උරුවේල ජනපදයේ පිහිටි සේනානී ගම්මානය වෙත ලඟා වූ සේක. ඒ ගම්මානයෙන් ඔබ්බෙහි වැලිතල අතරෙන් ගලා බස්නා සුන්දර වූ නොගැඹුරු නේරංජනා ගංගාවත්, මනරම් නිසල වන පෙදෙසත් උන්වහන්සේගේ සිත් ඇදගත්තේය. අසල ඇති සේනානි ගමෙන් පිඬුසිඟා ලබා ගත හැකි බවත් උන්වහන්සේට වැටහුන සේක.

ඉතා උතුම් වූ නිර්මල දහමක් දේශනා කල අපේ ගෞතම බුදු සමිඳුන්, ලෝ වැස්සන්ගේ යහපත පිණිස බුද්ධත්වය ලබා ගැනීමට ගත කල ජීවිතය පිලිබඳව උන්වහන්සේගේම වචන වලින් ශ්‍රවණය කිරීම සාරාංශයක් කියවීමට වඩා උචිත බැවින් උන්වහන්සේගේ වචන සඳහන් සූත්‍ර පිටකයේ සූත්‍ර අතුරෙන් උපුටා ගත් උන්වහන්සේගේම වචන අඩංගු ලියැවිලි මෙහි සඳහන්ව ඇත. බුද්ධ වචනයම ශ්‍රවනය කිරීමට තරම් අපි භාග්‍යවන්ත වෙමු. ක්ෂණ සම්පත්තිය ඔබ සඳහා විවෘතව ඇත. එය වැළඳ ගන්න.
බුද්ධත්වයෙන් පසු බුදුරජානන්වහන්සේ මෙසේ වදාල සේක.

"..... මේ බිම් පෙදෙස ඉතා දැකුම් කලුය. වැලිතල අතරින් ගලාබස්නා නොගැඹුරු දියෙන් යුතු ගංගාව සුන්දරය. මා සොයන්නා වූ නිවණ ලබා ගැනීමට මේ පෙදෙස කදිමය. ලඟ ඇති ගම්මානයෙන් මට පිඬු සිඟා ලබාගත හැක............" (අරියපරියේසන සූත්‍රය මජ්ජිම නිකාය; නො: 26; පලමුවැනි කාණ්ඩය; 16 වැනි පිටුව).

උන්වහන්සේගේ සිතැඟි පරිද්දෙන්, ඒ ස්ථානයේ නැවතී බවුන් වැඩීමට ඉටා ගත් සේක. කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම සහ අස්සජි නම් වූ පස්වග තවුසන්ද මහ බෝසතානන් සමග ප්‍රථම වරට එක්වූයේ මෙතැනදීය. බුදු සමයයේදී යාග, හෝම, පුද පූජා, සත්ව හා මිනිස් බිලි පූජා ආදී පූජාවන්ට ඉන්දීය සමාජයෙන් ලැබුණේ ඉතා ප්‍රමුඛ ස්ථානයකි. 'ගැලවීමක්' ලබා ගත හැක්කේ ශරීරයට වද හිංසා පමුණුවා 'පව් ගෙවා දැමීමෙන්' පමණක් බවට සමාජයේ පැවති විශ්වාසය ඉතාමත්ම බලවත් විය. කිසිම ගුරුවරයෙක් නොමැතිව නිවණ සොයා මහ මඟට බට මහබෝසතානන්ටද මේ විශ්වාස, ඇදහිලි සෑහෙන දුරට බලපෑවේය. මේ නිසාම මහබෝසතානන් වහන්සේටද සය අවුරුද්දක් සිරුරට වද හිංසා පමුණුවා ගනිමින් දුශ්කර ක්‍රියා කිරීමට සිදුවිය.

මහබෝසතානන් වහන්සේ තමන් වහන්සේ විසින් කරන ලද දුශ්කර ක්‍රියා බුද්ධත්වයෙන් පසු දේශනා කරන ලද මහාසච්චක සූත්‍රයේ (මහා සච්චක සූත්‍රය ;මජ්ජිම නිකාය 1.4.6. )මෙසේ දක්වා ඇත

“………….. පින්වත් අග්ගිවෙස්සන, එතකොට මට මෙහෙම හිතුනා. යටිදතෙන් උඩුදත තද කරල හිට, දිවෙන් තල්ල තද කරගෙන, මං කුසල් සිතින් අකුසල් සිත පෙළන්න ඕන, බලවත්ව පෙළන්න ඕන, බලවත්ව තවන්න ඕන කියල. එතකොට පින්වත් අග්ගිවෙස්සන, මං යටිදතෙන් උඩුදත තද කරගෙන හිට, දිවෙන් තල්ල තද කරගෙන කුසල් සිතින් අකුසල් සිත පෙළනවා. තදින් තවනවා. පින්වත් අග්ගිවෙස්සන, මං ඒ විදිහට යටිදතෙන් උඩුදත තද කරගෙන, දිවෙන් තල්ල තද කරගෙන, කුසල් සිතින් අකුසල් සිත පෙළන කොට, තදින් ම පෙළන කොට, තදින් ම තවන කොට මගේ කිහිලිවලින් දාඩිය වැගිරෙන්න පටන් ගත්තා……”

“…..පින්වත් අග්ගිවෙස්සන, එතකොට මට මෙහෙම හිතුනා. එහෙම නම් දැන් මම ‛අප්‍රාණක ධ්‍යානය’ වඩන්න ඕන කියල. පින්වත් අග්ගිවෙස්සන, ඒ කියන්නෙ, මං කටින්වත්, නහයෙන්වත්, ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙ නැතුව හිටියා. එතකොට පින්වත් අග්ගිවෙස්සන, මගේ කටිනුත්, නාසයෙනුත් ආශ්වාස ප්‍රශ්වාස නො කර ඉන්න කොට කණ්වලින් හුළං පිටවෙනවා වගේ මහා සද්දයක් ඇහුනා. ඒක හරියට කම්මල්කරුවෙක්, මයිනහමකින් පිඹින කොට එන සද්දෙ වගේ මහා ලොකු සද්දයක්. පින්වත් අග්ගිවෙස්සන, අන්න ඒ විදියමයි මං කටිනුත්, නාසයෙනුත් හුස්ම ගැනීම හෙළීම නවත්වල දැම්මා ම, කණ්වලින් මහා සද්දෙකින් හුළං පිටවුනා. පින්වත් අග්ගිවෙස්සන, ඒත් මගේ පටන් ගත්තු වීරිය එහෙම්ම ම තිබුනා. සිත හැකිළුනේ නෑ. සිහිය පිහිටියා. මුළා වුනේ නෑ. ඒත් ඒ විදිහට දුක් විඳගෙන කරන වීරියෙන් කයට පහර වදින කොට මගේ කයට නම් ලොකු මහන්සියක් දැනුනා. සංසිඳුනෙ නෑ. පින්වත් අග්ගිවෙස්සන, ඒ විදිහේ වේදනාවකින්වත් මේ හිත යටපත් කරන්න බැරි වුනා…………”


මහ බෝසතානන් වහන්සේ ඊට පසු ආහාර ගැනීම පිලිබඳව සලකා බැලූ සේක.

“….. පින්වත් අග්ගිවෙස්සන, එතකොට මට මෙහෙම හිතුනා. ‛ඔය ආහාර ටික ටික, මිට ගානෙ වගේ දානෙ ගන්න ඕන කියලා. මුං ඇට වතුර, කොල්ලු වතුර, කඩල වතුර, මෑ ඇට වතුර වගේ දේවල් ටික, ටික ගන්න ඕන’ කියල හිතුනා. පින්වත් අග්ගිවෙස්සන, ඉතින් මම මුං ඇට වතුර ටිකක් හරි, කොල්ලු වතුර ටිකක් හරි, කඩල වතුර ටිකක් හරි, මෑ ඇට වතුර ටිකක් වගේ පින්වත් අග්ගිවෙස්සන, ඔය විදිහට ආහාර ඩිංගිත්තක් ගන්න පටන් ගත්තා. පින්වත් අග්ගිවෙස්සන, මුං ඇට වතුර ටිකක්, කොල්ලු වතුර ටිකක්, මෑ ඇට වතුර ටිකක් වගේ ආහාර ඩිංගිත්තක් ගන්න පටන් ගත්තා ම මගේ ඇඟ පත හොඳට ම කෙට්ටු වෙන්න පටන් ගත්තා. මගෙ අතපය ආසීතික කියන වැල් පුරුක් වගේ වුනා. කළු වැල් පුරුක් වගේ වුනා. ආහාර අඩුකමින් ම යි එහෙම වුනේ. මගේ තට්ටම ඔටුවෙකු ගේ පා සටහනක් වගේ වුනා. ආහාර අඩුකම නිසා ම යි එහෙම වුනේ. ඒ වගේ ම මගේ කොඳු ඇට පේළිය වට්ටනාවලී කියන වැල වගේ උස් පහත් වුනා. ආහාර අඩුකමින් ම යි එහෙම වුනේ. ඒ වගේ ම හොඳට ම දිරපු ශාලාවක වහලෙ පරාල තියෙන්නෙත් එහාට මෙහාට උස් පහත් වෙලා. ආහාර අඩුවෙන් ගැනීම කොච්චර ද කිව්වොත් මගේ පපුවෙ ඇට ටික පෙනුනෙත් ඒ වගේ ම යි. ඒ වගේ ම ගැඹුරු ළිඳක් තියෙනවා කියල හිතන්න. ඒ ළිඳ කොච්චර ගැඹුරු ද කිව්වොත් වතුර ටික යාන්තමට දිලිසෙනවා පේනවා. ඔය විදිහට මගේ ඇස් දෙක ඇස්වලේ යටට ම ගිලිල යාන්තමට දිළිසුනා. ආහාරපාන අඩුවෙන් ගත්තු නිසා ම යි ඒ විදිහට වුනේ. මගේ හිසේ හම මැලවිල, රැලි වැටිල ගියේ හරියට අමුවෙන් කඩලා, අව්වට වේලල, මැලවිලා ගිය ලබු ගෙඩියක් වගෙයි. ආහාර අඩුවෙන් ගත්තු නිසා ම යි එහෙම වුනේ….”
“….ඉතින් පින්වත් අග්ගිවෙස්සන, මං බඩේ හම අතින් පිරිමදින කොට, කොඳු ඇට පේළිය අතට අහුවෙනවා. කොඳු ඇට පේළිය පිරිමදින කොට බඩේ හම තමයි අතට අහුවුනේ. පින්වත් අග්ගිවෙස්සන, ආහාර පාන අඩුවෙන් ගත්තු නිසා ම යි එහෙම වුනේ. බඩේ හමයි, කොඳු ඇට පේළියයි එකට ඇලිලා ගියා. මං වැසිකිළි, කැසිකිළි යන්න හදන කොට එතන ම යටිකුරුව වැටුනා. පින්වත් අග්ගිවෙස්සන, මේ ශරීරයේ අත පය මං පිරිමදින කොට, ඇඟේ මවිල්වල මුල් දිරලා, ඒ මවිල් ගැලවිලා වැටෙනවා. ආහාර අඩු නිසා ම යි එහෙම වුනේ…..”
“………. පින්වත් අග්ගිවෙස්සන, මිනිස්සු මාව දැකල මෙහෙම කියනවා. “ආ! දැන් මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හරි කළුයි.” එතකොට තවත් මිනිස්සු මෙහෙම කියනවා. “නෑ! ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කළු නෑ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ රත්තරන් පාටයි.” එතකොට තවත් මිනිස්සු මෙහෙම කියනවා. “නෑ! ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තළෙලු පාටයි.” පින්වත් අග්ගිවෙස්සන, ඒ සා පිරිසිදුවට බැබලුන මගේ හමේ පාට පවා ආහාර අඩුකමින් පිච්චිලා ගියා……..”
“….අග්ගිවෙස්සන, එතකොට මට මෙහෙම හිතුනා. ‛අතීතයේ යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් හිතාමතා ම යම් තියුණු වූ දුක් කම්කටොළු වේදනා වින්දා ද, ඒ විඳින්න තියෙන්නෙත් මෙච්චර තමයි. මීට වඩා වැඩි දෙයක් නෑ. ඒ වගේ ම අනාගතයේ පහළ වන යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් හිටියොත් ඒ උදවියත් හිතාමතා ම තියුණු කටුක වූ දුක් වේදනා විඳිනවා නම්, ඒ විඳින්න තියෙන්නෙත් මෙච්චර තමයි. මීට වැඩි දෙයක් නෑ. වර්තමානයේ යම් කිසි ශ්‍රමණ බ්‍රාහ්මණවරු තියුණු වූ, කටුක වූ දුක් හිතා මතා ම විඳිනවා නම් ඒ විඳින්න තියෙන්නෙත් මෙච්චර තමයි. මීට වැඩි දෙයක් නෑ. නමුත් මේ සා, පීඩාකාරී දුෂ්කර ක්‍රියාවක යෙදිලත් මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ශ්‍රේෂ්ඨ වූ ඤාණ දර්ශන කිසිවක් මට අවබෝධ කරගන්න බැරුව ගියා. සත්‍යාවබෝධයට වෙනත් මාර්ගයක් තියෙනවා වත් ද?’ කියල…..”
“….. එතකොට පින්වත් අග්ගිවෙස්සන, මට මෙහෙම හිතුන. ‛හරි! මට මතකයි. අපේ පිය රජතුමා කමතේ වැඩකරද්දි, මං සීතල දඹරුක් සෙවනෙ සිටියා මතකයි. මං එදා කාමයන්ගෙන් වෙන්ව, අකුසල්වලින් වෙන්ව, විතර්ක විචාර සහිත, මානසික විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කළා මතකයි. සත්‍යාවබෝධයට මාර්ගය මේකවත් ද? කියල. පින්වත් අග්ගිවෙස්සන, මං ඔය විදිහට සිහිකරද්දි මෙන්න මේ දැනීම ඇති වුනා ‛හරි! මේක ම තමයි මාර්ගය’ කියලා…….”
“……….එතකොට පින්වත් අග්ගිවෙස්සන, මට මෙහෙම හිතුනා. ‛ඇත්තෙන් ම මං මොකට ද ඒ සැපයට භය වෙන්නෙ. අනික ඒ සැපය කාමයන්ගෙන් වෙන් වූ අකුසලයන්ගෙන් වෙන් වූ සැපයක් නෙව’ කියලා………..”
“……..එතකොට පින්වත් අග්ගිවෙස්සන, මට මෙහෙම හිතුනා. ‛ඔව්! මං මේ සැපයට භය වෙන්නෙ නෑ. මේ සැපය කාමයන් ගෙන් වෙන් වූ, අකුසලයන්ගෙන් වෙන් වෙච්ච එකක්. ඊළඟට පින්වත් අග්ගිවෙස්සන, මට මේ විදිහට හිතුනා. මෙහෙම දුර්වල වෙච්ච කයක් තියාගෙන මං ඒ සැපය ලබන එක ලේසි දෙයක් නම් නො වෙයි. මං ටිකෙන් ටික, බත් වෑංජන තියෙන ආහාර ගන්න ඕන. ඉතින් පින්වත් අග්ගිවෙස්සන, මං බත් වෑංජන වලින් යුතු ආහාර වළඳන්න පටන් ගත්තා. ඒ වෙන කොට පින්වත් අග්ගිවෙස්සන, මට භික්ෂූන් පස් නමක් උපස්ථාන කර කර හිටියා. ‛ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් ධර්මයක් අවබෝධ කරයි නම් ඒ ධර්මය අපටත් කියා දේවි’ කියලා. නමුත් පින්වත් අග්ගිවෙස්සන, මං බත් වෑංජන තියෙන ආහාර වළඳන්න පටන් ගත්තා ම ඒ භික්ෂූන් පස් නම මං ගැන කළකිරුනා. ‛වැඩක් නෑ! ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සැප බහුල කරගත්තා. වීරිය කණපිට හැරුනා. සැප බහුල පැත්තට ම කැරකිල ගියා’ කියල මාව අත්හැරලා ගියා……”

No comments: