Saturday, December 13, 2008

මහාබිනිෂ්ක්‍රමණය

මහ බෝසතානන් වහන්සේ ගිහිගෙයින් නික්ම ගියේ ගිහිගෙය පිළිබඳව කලකිරුනු බැවිනි.
කුමන කරුනක් (නු ) නිසා උන්වහන්සේ ගිහිගෙය ගැන කලකිරුනේද? මහබිනික්මනට පෙර තුරුණු වියෙහි උන් මහබෝසතානෝ තුරුණු වියෙහි ලද හැකි ලෞකික සැප සම්පත් මනා ලෙස භුක්ති විඳින සමයෙක, රෝගියෙක්, මහල්ලෙක් සහ මලකඳක් දැකීමෙන් මහත් සේ කම්පාවට පත්වූ සේක. උන්වන්සේගේ විචාරාත්මක මනැසේ ස්වභාවයද එයින් අපට පිළිබිඹු වන්නේය. සාමාන්‍ය කෙනෙකුට එවන් දෙයක් දුටු විට ඒ සිතිවිල්ලක් පමණි. ඊලඟ සිතිවිල්ල සිත තුලට පැමිනි විට පලමු සිතිවිල්ල අමතක වී ගොස්ය.


මේ ස්වභාවයන් සැමටම පොදු බවත් ඉන් ගැලවීමක් නැති බවත් අවබෝධ වූ පසු සිය දයාබර බිරිඳ වූ යසෝදරාවත්, බිලිඳු පුත් රාහුල කුමරු ගැනත් ඉමහත් දුකක් උපන්නේය.

එලෙසම උන්වහන්සේගේ කරුණාව මුලු ලෝ වැස්සන් කෙරෙහි යොමු විය. උන්වහන්සේ ඉන් ගැලවීමේ මාර්ගය සොයා යන්නට අදිටන් කර ගත්තේ ඉන් පසුවය.

උන්වහන්සේගේ බුද්ධත්වයෙන් පසු භික්ෂූන්ට දේශනා කරන ලද සුඛමාල සූත්‍ර දේශනාවෙහි (අංගුත්තර නිකාය 3.38) මෙසේ සඳහන් වී ඇත. මේ බුද්ධ වචනමය......

“මා ගත කල ජීවිතය අතිශයින්ම සුඛෝපභෝගී විය. බරණැසින් ගෙන ආ සඳුන් හැර වෙන සඳුන් වර්ගයක් මා භාවිතා කලේ නැත. මගේ හිස්වැසුම, යට කබාය, උඩ කබාය ආදී වූ ඇඳුම්ද ගෙන ආවේ බරණැසෙනි. වැස්සෙන්, පින්නෙන්, අව්වෙන් ආරක්ෂාවීමට මගේ හිසට උඩින් ආවරණයක් සැමවිටම තිබුණි. මාගේ පියාණන් වහන්සේ මට සාදවා දුන් මාලිගාවන් තුනකි. එකක් වැසි සමයටද, තව එකෙක් සීත සමයටද, අනෙක ග්‍රීෂ්ම සමයටද විය. ඒවායේ මහනෙල් මල් පොකුණු තුනක්ද විය. එකක සුදු මහනෙල්ද, තව එකක නිල් මහනෙල්ද, අනෙකෙහි රතු මහනෙල්ද විය. කවදාවත් මට මාලිගයෙන් පිටතට යාමට සිදුවූයේ නැත. මගේ විනෝදය පිණිස සැම විටෙකම නිලියන් ගී ගයමින් රඟ පාමින් උන්හ. ඒ අතර කිසිදු පිරිමියෙක් නොවීය.

තතු මෙසේ වුවද, මේ සැවොම කවදා හෝ මහලු බවට පත් වන බව සිහිවූ පසු, මගේ තරුණ මදය වියැලී ගියේය.

එසේම, මෙතරම් සැප සම්පත් මා අනුභව කලත් මේ සැවොම, රෝගී ස්වභායට පැමිණිය හැකි බව සිහි වූ විට මා තුල පැවති නිරෝගී මදයද වියැලී ගියේය.

එලෙසම, මේ කොතරම් සැප සම්පත් තිබුනත්, කවදා හෝ මේ සැවොම මිය යන බව සිහි වූ විට මා අතිශයින්ම කම්පා විය. ජීවිතයේ අවිනිශ්චිත බවත් මෙයට පිලියමක් සොයා යාමටත් මට සිත් විය......

පසු කලෙක, වැඩිහිටි විරෝධතා මධ්‍යයේ, මා තාරුණ්‍යයේ අගතැන් පත්ව සිටියදී, රැවුලත් හිසත් මුඩුකොට, කසාවන් සිවුරු හැඳ, ගිහිගෙය හැර ගියෙමි....................

අරියපරියේසන සූත්‍රය ( මජ්ජිම නිකාය 26 )”


සමහර විචාරකයෝ (විශේෂයෙන්ම බටහිර) මහබෝසතාන්ගේ ගිහිගෙය හැරයාම විවිධාකාර ව්ලින් විවේචනය කරති. රාහුල කුමාරයාත්, තුරුණු වියෙහි පසුවන යසෝදරාවත් හැරයාම ආත්මාර්ථකාමී බවක් ලෙස හුවා දක්වන්නෝද සිටිති. යසෝදරාවගේ පියාණෝ, සුප්පබුද්ධ රජතුමාද එම ගණයට වැටේ.

නමුත් මහබෝසතානෝ, සත්‍ය වශයෙන්ම තම පියානන් වූ සුද්ධෝදන රපතුමා යසෝදරා
කුමරිය නිසැක වශයෙන් රැක බලාගන්නා බව දැන සිටි සේක. එකල දඹදිව සමාජ තත්වය සකස් වී තිබුනේ ඒ අන්දමටය. පුරවැස්සන් ඉතාම යුක්තිගරුක, ශීලාචාර අයවලුන් වූ බව වටහා ගත හැක. සෑම සූත්‍රයකම යම්කිසි කෙනෙක් බුදු සමිඳුන් හමු වීමට ගියහොත් ප්‍රථමයෙන් සතුටු සාමීචි සාකච්ඡාවක් සිදු වූ බව සූත්‍ර පිටකයේ ලියැවී ඇත. එයින් පිළිබිඹු වන්නේ සමාජයේ තිබුණු උත්තරීතර භාවයයි.

ලොව පහල වූ උතුම් මනුෂ්‍ය රත්නයකට ද්වේශ කිරීමේ විපාකයක් වශයෙන් සුප්පබුද්ධ රප්තුමා අපාගත වූ බව බුදුසමිඳුන් දේශනා කොට ඇත.


4 comments:

හේම ජයන්ත කොළඹගේ said...

සරත් මහක්මයානනි..ඔබ වචන වලට අමුණා ඇත්තේ විශ්වයේ ඇති දුර්ලභම මුතුමැණික්ය. එනම් බුදුරජාණන් වහන්සේගේ චරිත කථාවය.
මේ නිසා යමෙකුට "බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතො හොති" යන බුදුන් කෙරෙහි නොසැල්වෙන ශ්‍රද්ධාවක් උපදවා ගත හැකි නම් එයින් ඔබට ලැබෙන කුසල් අනන්තයි. අප්‍රමාණයි. දිගටම බුද්ධ චරිතය ලියන්න. ඒ කුසල් බෙලෙන් ඔබට උතුම් වූ චතුරාර්යය සත්‍යය
අවබෝධ වේවා‍.

නිලන්ත පියසිරි said...

ඉතාමත් අගනා ලිපියකි.

linda saha said...

සිද්ධාර්ථ කුමාරයට රෝගියෙක්, මහල්ලෙක් සහ මලකඳක් විශේෂ වුණේ කුමාරයා කලින් ඒ වගේ පෙනුම තියෙන අය දැකල නැති නිසා නේද?

සරත් ගුණතුංග said...

@ linda saha ඔව්, ඔබ හරි. සිදුහත් කුමරු ඉපදුනාට පස්සෙ උන්වන්සේ ගිහිගෙයින් පිටවෙන බවට අනාවැකි අහල තිබුණු නිසා සුද්ධෝදන රජතුමා සිදුහත් කුමරු මේවා නොදකින අන්දමට ආරක්ෂා කලා.