Thursday, December 18, 2008

නිවණ සොයා.......1

බුදුන් දවස සිටි දාර්ශනිකයින් අතරෙන් වේද ශාස්ත්‍රයන්හි නිරත වූවෝ සම්ප්‍රදායික වේද, යාග හෝම ආදී ආගමික ක්‍රියාවන්හි නිරත වූහ. ඔවුන්ගේ විශ්වාසය වූයේ ලොව පාලනය කරන්නේ දෙවියන් බවය. ශ්‍රමණ දාර්ශනිකයින් ඊට වඩා වෙනස් 'නිදහස්' මත දරන්නෝ වූහ. එක් එක් ශ්‍රමණ පාර්ශවයන්ගේ මතාන්තර ස්වල්ප වශයෙන් හෝ එකිනෙකට වෙනස් විය. සමහර මතාන්තර බොහෝ දුරට සමාන විය. ඒ සියලුම ශ්‍රමණයින් භාවනා ක්‍රම, ශරීරයට වද හිංසා පමුනුවා 'පව් ගෙවා දැමීම' ආදී කටයුතු සඳහා තමා ජීවත් වන සුඛෝපභෝගී ජීවිතය අතහැර වනගත දිවිපෙවෙතක් ගතකලයුතු බව විශ්වාස කලහ. බෝසතානන් වහන්සේ තමන් වහන්සේ ගත කල සුඛෝපභෝගී ජීවිතය අතහැර වයෝවෘද වීම, රෝගී වීම සහ මරණයෙන් ගැලවීම යන දුක් කන්දරාවෙන් මිදීමට වනගත වූයේ එකල දඹදිව පැවති "ශ්‍රමණ" සම්ප්‍රදාය අනුගමනය කරමිනි.

වෙද හා ශ්‍රමණ දෙපාර්ශවයේ මතාන්තර මෙසේ විය.....


වේද ශ්‍රාස්ත්‍රමතධාරීහු, මරණින් මතු ජීවිතයක් ඇති බව විශ්වාස කලහ. එක් මනුශ්‍යයෙක් කල්ප ගනන් යම් කිසි අන්දමට පැවතී සිට මිනිස් ලොවට පැමිණ මරණින් මතුද ආපසු පෙර සිටි පරිදි තවත් කල්ප ගනනක් ජීවත් වන බව විශ්වාස කලහ. නමුත් එක් එක් ජීවිත වෙනස් වීමට හෝ එකලෙසටම පැවතීමට පුලුවන් බවටත් මතයක් විය. මහ බෝසතානන් උපන් සමයය වන විට, තාරකා ශාස්ත්‍රය පිලිබඳව මනා දැනුමක් දඹදිව පැවති හෙයින් පෙර සඳහන් කල මතාන්තරය තරමක් දුරට දෙදරා තිබින. සමහර දාර්ශනිකයෝ යම් කෙනෙකුගේ මරණින් මතු ජීවිතය මේ ජීවිතය ගෙවන අන්දමට හේතුඵල දහමකට අනුව සිදුවන බවද විශ්වාස කලහ. මෙවන් විවිධ මතධාරීන්ගෙන් දඹදිව් තලය පිරී තිබුනි. ඔවුන් සැම දෙනාම 'සැනසීම' සොයන්නෝ වූහ. මේ සඳහා වේද ශ්‍රාස්ත්‍රධාරීන් යාග හෝම, අහිංසක සතුන් බිලි දීම ආදී වූ ක්‍රියාවන්හි නිරත වූහ.

ජෛනාගම්කාරයෝ (ශ්‍රමණ කොටසක්)වෙනම මතයක් දරන්නෝ වූහ. මේ ජීවිතයේ සිදුකරන ක්‍රියාවන්ගෙන් 'ආසාවල්' ඉපදෙන බවත්, ආසාවල් මර්දනය කිරීමට කිසිම කටයුත්තක් නොකල යුතු බවත්, බඩගින්නේ මිය යාමෙන් ආත්මය ගැලවෙන බවත් ඔවුන් විශ්වාස කලහ.

මේ එකල දඹදිව ප්‍රචලිතව තිබූ මතාන්තරයන්ගෙන් ස්වල්පයෙකි. මහ බෝසතානන් වහන්සේගේ සත්‍යය ගවේශණය උත්තරීතර පර්යේශණයකි. උන්වහන්සේට වැරදුනු අවස්ථාද නැත්තේ නොවේ.


ප්‍රථම වශයෙන් උන්වහන්සේ අලාරකාලාම තවුසා ගැන සිතා බැලූ සේක.

මේ සියල්ල සලකා බැලූ බෝසතානන් වහන්සේ ආලාරකාලාම තවුසා ලඟට යාමට තීරණය කල සේක.

අරියපරියේසන සූත්‍රයේ (මජ්ජිම නිකාය 26) බුදු රජානන්වහන්සේ මෙසේ සඳහන් කොට ඇත. මේ බුද්ධ වචනමය.


"ආලාර කාලාම තාපසයානන් හමුවී 'ආයුෂ්මත් කාලාමයෙනි මම ඔබගේ ධර්මය ඉගෙනීමට කැමැත්තෙමි...' එතකොට කාලාමයන් මට කිව්වා, ආයුෂ්මත්නි, එසේනම් මේ ධර්මයෙහි හැසිරෙමින් බඹසර වාසය කරන්න. ඉක්මනින්ම ඔබට මේ ධර්මය සාක්ෂාත් කරන්නට පුලුවන්.' ඉතා ඉක්මනින් ඒ ධර්මය මම ඉගෙන ගත්තා. ඔවුන් තොල් සොලවන පමනින් කියන්නේ කුමක්දැයි මා වටහා ගත්තා.
ආලාර කාලාමයන් ලඟ සිටි අනෙක් අයත් ඒ බව කියන්න පටන් ගත්තා. ආ එතකොට මට මෙහෙම අදහසක් සිතට ආවා. ආලාර කාලාමයන් මේ ධර්මය ශ්‍රද්ධාවෙන් පමණක් නොවෙයි මේ දේශනා කරන්නෙ, එතුමා ධරමය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්. මටත් ඒ වගේම අවබෝධයක් තියෙනව. මම ආලාර කාලාමයන්ගෙන් ඇහුවා, ආයුෂ්මත් කාලාමයෙනි, ඔබගේ ධර්මය කොපමණ දුරට තියෙනවද කියල. එතුමා එතකොට මට සමාධි ගැන විස්තර කරලා ආකිඤ්චඤ්ඤායතන සමාධිය දක්වා විස්තර කලා.

එතකොට මට මෙහෙම සිතිවිල්ලක් සිතට ආවා. අලාරකාලාමට පමණක් නොව මටද වීර්යය, සිහිය, සමාධිය, ප්‍රඥාව සහ නුවන මටත් තියෙනවා. මම මේ ධර්මය ඉක්මනටම ඉගෙන ගන්න මහන්සි ගන්න ඕන....ඒ වගේම මට ඒ ධර්මය අවබෝධ කරගෙන එහි වාසය කරන්න පුලුවන් උනා. ….” ආයෙත් මම කාලාමයන් ලඟට ගිහින් ඔබ දන්නේ ඔය තරම පමනදැයි ඇසුවා. කාලාමයන් එතකොට එපමන තමයි කිව්වා. මම එතකොට කිව්ව, ආයුෂ්මත් කාලාමයෙනි, මමත් ඒ ධර්මය ශාක්ෂාත් කරගෙන ඉන්නවා කියල. ඔන්න එතකොට කාලාමයන් මට පුදපූජා තියල මේක හරිම ලාභයක්, ඔබත් මමත් මේ පිරිස බෙදාගෙන ඉඳිමු කියල......" නමුත් මේ ධර්මයෙන් මම සොයන නිවන ලැබෙන්නෙ නැහැ. ආකිඤ්චඤ්ඤායතනයේ උපතක් ලබන්නට විතරයි පුලුවන් වෙන්නෙ කියල මට සිතුවිල්ලක් සිතට ආව....." මේ ධර්මයෙන් අවබෝධයෙන් කලකිරීමකට හේතු වෙන්නෙ නැහැ, ඇලීම ගැලීම නැතිවෙන්නෙ නැහැ, දුක නැතිවෙන්නෙ නැහැ, ශෝකය දුර ලන්න බැහැ, විශේෂ ඥාණයක් ඉන් ලබන්න බැහැ, ඉතින් මම සොයන නිවන නැති නිසා මට එයින් වැඩක් නැහැ. ඉතින් ඒ ආරාමය දාලා ගියා. කුසල් කියන්නෙ මොනවද කියල මට හොයා ගන්න ඕන වුනා. ඊට පස්සෙ මම ගියා උද්දක රාම පුත්‍ර ලඟට. ගිහින් එතුමාට කිව්වා ඔබගේ ධර්මයේ හැසිරෙන්න කැමතියි කියල. රාම පුත්‍ර මට එයා දන්න දේවල් ඉගැන්වුවා. මම ඉතා ඉක්මනට රාමපුත්‍රයන්ගේ ධර්මය ඉගෙන ගත්තා. එතුමාගේ ධර්මය උනත් තිබුනේ නේවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා පමනයි. මම සොයන අමා මහ නිවන රාම පුත්‍ර ලඟ ඉඳගෙන ලැබෙන්නෙ නැතිනිසා රාම පුත්‍රව අතහැරල නැවතත් මහ මඟට බැස්සා."

1 comment:

jayantha colombage said...

මෙය ඉතාමත් වැදගත් ලිපි පෙලක ප්‍රවේශයක්
හැටියට මම දකිනවා. ඔබතුමා පසුගිය දිනවල
ලියමින් සිටි පූර්ව බුදුසමය පිළිබද ලේඛන සහ
මෙම ආරම්භක ලිපියෙන් අදහස් කෙරෙන නිවන
සදහා වූ මාර්ගය සිද්ධාර්ථ නම් තවුසා වඩන්නට
පටන් ගත් ආකාරය විස්තර කිරීමෙන් පාඨකයා
තුල කිසියම් චමත්කාරයක් මෙන්ම ආර්යය
අෂ්ඨාංගික මාර්ගය පිළිබද යම් අදහසක් අවබෝධ
කරවීමට හැකිවෙතැයි මම විශ්වාස කරමි.
දිගටම මෙය කරගෙන යාමට ඔබතුමා කෙරෙහි
සියලු ශක්තිය ධෛර්යය ඇතිවේවා යැයි ඉත සිතින්
ප්‍රාර්ථනය කරමි.