Saturday, April 16, 2011

ආනන්ද මහ රහතන් වහන්සේ ……5

ආනන්ද මහ රහතන් වහන්සේ ……5


වර්තමානයේදී මෙන්ම, බුදු රජාණන් වහන්සේ ජීවත්ව සිටි කාලයේදීත් ගංගාවක බැසයන ජලය උදෙසා, එමෙන්ම යම්කිසි භූමියක මායිම් උදෙසා ආරාවුල් පැන නැගුනු බවට ඉතිහාසය සාක්ෂි දරයි.  ශාක්‍ය හා කෝලිය වංශිකයින් රෝහිනී නදියේ ජලය බෙදාගත නොහැකිව අරගලයක් ඇරඹූහ.  මේ අරගලය දුරදිග ගොස් ඔවුනොවුන් ඇණකොටා ගන්නා තරමටම උණුසුම් විය.  බුදු රජාණන් වහන්සේ මැදිහත්ව, වඩා වටිනා කමක් ඇත්තේ ජලයටද, මිනිස් ජීවිතවලටද වශයෙන් කරුණු පැහැදිලි කොට දහම් දෙසා වදාල සේක.  කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව දෙපක්ෂයම බුදු රජාණන් වහන්සේගේ අවවාද පිලිගත්හ.  දෙපක්ෂයෙන්ම පන්සියයක් පමණ වූ කුමාරවරු පැවිදි බවද ලබා ගත්හ.  මෙසේ සිය සැමියන්, විවාහ ගිවිස ගත් කුමාරවරු ගිහිගෙය හැරගිය පසු, ඔවුන්ගේ බිරින්දෑ වරු, විවාහ වීමට බලාපොරොත්තුව සිටි කුමරියන් මහා ප්‍රජාපතී ගෝතමී බිසොවුන් වහන්සේ වෙත එළඹ සිය කනස්සල්ල ප්‍රකාශ කලහ.  දේවීන් වහන්ස, ඔබගේ සැමියා, ශුද්ධෝදන රජතුමා පිරිනිවන් පා ඇත.  ඔබ තුමිය දැන් ස්වාමියෙකු නැති ස්ත්‍රියකි.  අපගේ ස්වාමියෝද අපව හැර දමා පැවිදි වී ඇත.  අපි මෙසේ සිටිනවාට වඩා බුදු රජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි වුවහොත් යෙහෙකියයි පැවසූහ.   මහා ප්‍රජාපතී දේවීන් වහන්සේද එකහෙලාම ඒ අදහස අනුමත කලාය.  ඉන්පසු පන්සියයක් පමණ වූ රාජකීය කුලකාන්තාවන් සමග මහා ප්‍රජාපතී ගෝතමී බිසොවුන් බුදු රජාණන් වහන්සේ හමුවට ගොස්, "ස්වාමීනි බුදු රජාණන් වහන්ස, මගේ සැමියා ශුද්ධෝදන රජතුමා අර්හත් ඵලය ලබාගෙන පිරිනිවන් පා ඇත.  රාහුල කුමාරයාත් නන්ද කුමාරයාත් ඔබ හා සමග පැවිදි වී ඇත.  මට මාලිගයේ තනිව සිටිනු නොහැකිය.  මේ සමග සිටින මේ කුල කාන්තාවන්ටද සැමියන් නැත, ඔවුන් ඔබ වහන්සේගේ සසුනේ පැවිදි වී ඇත.  අපිට අනුකම්පා කොට අපටද පැවිද්ද ලබා දෙනු මැනැවැයි ආයාචනා කලහ.  බුදු රජාණන් වහන්සේ වෙන කාටවත් වඩා හොඳින් එකල දඹදිව කාන්තාවන්ට තිබුණු සමාජ තත්වය ගැන දැන සිටියහ.  සමාජයේ ඔවුන්ගේ තත්වය උසස් කිරීමට උන්වහන්සේ නිතරම ක්‍රියා කලහ.  පසු කලෙක ඇති විය හැකි ගැටලු ගැන සලකා ඒ අවස්ථාවේ කාන්තාවන්ට පැවිද්ද ලබා නොදීමට උන්වහන්සේ තීරනය කල සේක.  මහා ප්‍රජාපතී ගෝතමී බිසව කිහිප වතාවක්ම බුදු රජාණන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියාය. නමුත් ඒ අවස්ථාවේ එය ඉටු වූයේ නැත.   ඉන් ඉක්බිති  බුදු රජාණන් වහන්සේ කපිලවස්තු පුර නිග්‍රෝධාරාමයෙන් නික්ම විසාලා මහනුවර දෙසට වැඩම කලහ. 

ඒ තීරණයෙන් අතිශය ශෝකයට පත් ඒ කුල කාන්තාවෝ, පසු දිනෙක ඔවුන්ගේම කැමැත්තෙන් හිස මුඩු කොට ගෙන, කසාවතින් සැරසී විසාලා මහනුවර දිසාවට ගමන් කලහ.  ශුද්ධෝදන රජ මාලිගයේ ප්‍රථම පෙරලිය වූයේ බුදු රජාණන් වහන්සේ ගිහි කල විසූ සුඛෝපභෝගී ජීවිතය හැරදමා බුද්ධත්වය ලැබ, කපිලවස්තුපුරයෙහිම, වීදිවල පිඬු සිඟා වැඩීමය. මෙයින් අතිශයින්ම කම්පාවට පත් වූයේ ශුද්ධෝදන රජතුමාය.    ඊලඟ පෙරලිය වූයේ රාජකීය කුල කාන්තාවෝ කසාවතින් සැරසී හිස මුඩු කොට ගෙන ඉතාමත් සංවර ලීලාවෙන් බිම බලාගෙන විසාලා නුවර දෙසට ගමන් කරන විටදීය.
 අද මෙන් එදා ඔවුන් මිට මොලවාගෙන  සටන් පාඨ කියවූයේ නැත. 

“….අපට පැවිද්ද දෙනු. නැතහොත් අපේ සැමියන් දෙනු ….”  යන වශයෙන් දැන්වීම් පුවරු අල්ලා ගෙන සිටියේද නැත. 

මේ කුල කාන්තාවන්ගේ ගමන ලැව් ගින්නක් මෙන් පැතිර ගියේය.  ශාක්‍ය හා කෝලිය රාජ වංශිකයෝ ඔවුන්ගේ රථ රැගෙන පැමිණ ඒ කාන්තාවන්ට ඒ රථවලට නගින ලෙස ඉල්ලා සිටියහ.  නමුත් ඔවුන් පයින්ම ගමන් කලහ.   ඔවුන්ගේ සිල්වත් බවින් වශී වූ මග දෙපස සිටියවුන් ඔවුන්ට වන්දනාමාන කලහ.  සියුමැලි සිරුරු ඇති ඒ කාන්තාවෝ යොදුන් පනස් එකක් මග ගෙවා විසාලා මහනුවර කූටාගාර ශාලාවට සැපත් වූහ.  ඔවුන් එකවරටම බුදු රජාණන් වහන්සේ හමුවට නොගොස් ආනන්ද තෙරුන් වහන්සේ හමුවූහ.  ලේ ගලන දිය බුබුලු සහිත ඔවුන්ගේ පා දැකීමෙන්  ආනන්ද තෙරුන් වහන්සේ මහත් සේ කම්පාවට පත්වූහ.  "මෑණියෙනි කුමක් සිදු වූයෙහිද?.." ඔබ ක්ෂත්‍රිය කුලයෙන් නෙරපණු ලැබීද නැතහොත වෙන යම්කිසි ආපදාවක් ඔබට සිදුවීදැයි ආනන්ද තෙරුන් වහන්සේ විචාලහ.  පුතනුවනි, ආනන්ද තෙරුන් වහන්ස, අපට එසේ ආපදාවක් සිදූ වී නොමැත. අපි කුලයෙන් නෙරපන ලද්දේද නැත.  මම තුන් වතාවක් පැවිද්ද ඉල්ලා බුදු රජාණන් වහන්සේට බැගෑපත් වුනෙමි.  නමුත් මට පැවිද්ද ලැබුණේ නැත.  පැවිදි වූවෙකු සේ ජීවිතය ගත කිරීමට සිතාගෙන මේ කුල කාන්තාවන් සමග පැමිණියෙමි.   ආනන්ද තෙරුන් වහන්සේ ඔවුන්ට මඳක් සිටින සේ අවවාද කොට බුදු රජාණන් වහන්සේ හමු වීමට ගියහ.  " ස්වාමීනි බුදු රජාණන් වහන්ස, ඔබ වහන්සේගේ සුලු මව වන ප්‍රජාපතී ගෝතමී බිසොවුන් වහන්සේ ඇතුලු පන්සියයක් පමන වූ කාන්තාවෝ කසාවතින් සැරසී පැවිද්ද පතා මෙහි පැමින සිටිති.  යොදුන් පනස් එකක් ගමන් කොට ඔවුන්ගේ පා වල දිය බුබුලු ඇත.  සමහරුන්ගේ පාවලින් රුධිරය වෑහේ.  ඔවුන්ට අනුකම්පා කල මැනවි...." සසුනට කාන්තාවන් ඇතුලත් කර නොගන්නා ලෙස දෙවරක් බුදු රජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට අවවාද කල සේක.  නමුත් බුදු රජාණන් වහන්ස, කාන්තාවක් පැවිදිව භාවනා කොට සකෘදාගාමී අනාගාමී වශයෙන් ඵල ලබා ගත හැකිදැයි ආනන්ද තෙරුන් බුදු රජාණන් වහන්සේ ගෙන් විචාලේය. ".. එසේය එය සිදුවිය හැකියයි බුදු රජාණන් වහන්සේ පිලිතුරු දුනි.   "බුදු රජාණන් වහන්ස, ප්‍රජාපතී ගෝතමී බිසොවුන් වහන්සේ ඔබ වහන්සේගේ මෑණියන් මිය ගිය පසු ඇයගේම පුත් නන්ද කුමරු වෙන කාන්තාවන් භාරයේ තබා, ඇයගේම කිරි දී ඔබවහන්සේ ඇතිදැඩි කලාය.  ඇයට අනුකම්පා කොට පැවිදි කල මැනැවැයි තවත් වරක් ඉල්ලා සිටියේය.  ආනන්ද, එසේ නම් පෙර සිටි බුදු වරුන් භික්ෂූනී සාසනය පටන් ගැනීමට පෙර පනවන ලද නීති අටක් ඇත.  ප්‍රජාපතී ගෝතමී ඒ නීති වලට එකඟ වෙයි නම් ඇයව පැවිදි කරවමි යයි පැව්සූ සේක.  ප්‍රජා පතී ගෝතමී එකහෙලාම ඒ නීති වලට එකඟ වූවාය.  ඒ සමග සිටි අනෙක් කුල කාන්තාවන්ද ගෞතම බුද්ධ සාසනයේ මෙහෙණියන් වූහ. 

පැවිද්ද ලබා නොබෝ දිනකින් ප්‍රජාපතී ගෝතමී තෙරණිය රහත් වූවාය.

එකරටම කෙනෙකුට පෙනීයන්නේ බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ට නොසලකා හැරී බවකි.  එය එසේ නොවේ.  උන්වහන්සේ එදා කාන්තාවන්ට දඹදිව තිබූ සමාජ තත්වය ඉතා හොඳින් දැන සිටි සේක.  කාන්තාව උසස් තත්වයක තැබීමට උන්වහන්සේ කිසි විටෙක අතපසු නොකල සේක.  අපට නොපෙනෙන දේවල් උන්වහන්සේ දැන සිටි සේක.  මහා ප්‍රජාපතී ගෝතමී අර්හත් තෙරණිය පිරිනිවි පසු ඒ තෙරණියන්ගේ ආදාහන පෙරහැරේ බුදු රජාණන් වහන්සේ ගමන් ගත් සේක.  ඒ තෙරණියන් ආදාහන කල පසු ඒ භෂ්මාවශේෂ සිය පාත්‍රයේ බහා ලිච්චවි රජ දරුවන්ට දී සෑයක් කරවන ලෙසට බුදු රජාණන් වහන්සේ කටයුතු සලසන ලදී.  ඒ සෑය බුදු රජාණන් වහන්සේ විසින් වන්දනා කරන ලද බවට බෞද්ධ ඉතිහාසය සාක්ෂි දරයි.

Wednesday, April 13, 2011

සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා 4

ආනන්ද මහ රහතන් වහන්සේ ……4
                                                

වරක් බුදු රජාණන් වහන්සේ මෙසේ වදාල සේක.  "... මාගේ සාසනයේ බහුශ්‍රැත වූද, අධික ධාරණ ශක්තියක් ඇත්තා වූද, උතුම් වූ පිරිසිදු චරිතයක් ඇත්තා වූද, අතිශයින් කාර්යක්ෂම වූද, අතිශයින් විනීත උපස්ථායක කෙනෙක් වූද, එක් භික්ෂුවක් ඇත.  අන් කවරෙක් වත් නොව  ආනන්ද තෙරණුවෝය    දිනක් ගෝපක මොගල්ලාන නම් වූ භ්‍රාහ්මණයෙක් ආනන්ද තෙරුන් වහන්සේ වෙත පැමිණ, ඔබ වහන්සේ ඉතා ශ්‍රේෂ්ඨ තෙරුන් වහන්සේ කෙනෙක් වශයෙන් බුදු රජාණන් වහන්සේ සඳහන් කරයි.  එසේ වීමට බුදු රජාණන් වහන්සේ කොපමණ තරම් ධර්මයක් ඔබට දේශනා කොට ඇත්ද? ඊට පිළිතුරු වශයෙන් බ්‍රාහ්මණය, මම 82,000ක් තරම් වූ දේශනා බුදු රජාණන් වහන්සේගෙන් අසා ඇත්තෙමි.  සාරිපුත්ත ආදී වූ තෙරුන් ගෙන් දෙදහසක් පමණ වූ දේශනා අසා ඇත්තෙමි. සම්පූර්ණ වශයෙන් මම දේශනා අසූහාරදහසක් පමණ උගත්තෙමි යයි වදාල සේක..  ධාරණ ශක්තිය අතින් සසුනෙහි වෙනත් භික්ෂූන් සිටියද ආනන්ද තෙරුන් පමණ ධාරණ ශක්තියක් ඇති වෙන භික්ෂුවක් නොසිටියේය.  ආනන්ද තෙරුන්ගේ ධාරණ ශක්තිය අතීත භවයන්හිදී උන්වහන්සේ විසින් කරන ලද කුසල් සම්භාරයෙන්  ශක්තිමත් වී ඇත.  ධාරණ ශක්තිය වර්ධනය කර ගැනීමට, බුදු රජාණන් වහන්සේ දෙන උපදෙස් (සුතා, ධතා, වචසා පරිචිතා, මනසානු පේක්ඛිතා, දිට්ඨියා සුප්පටි විද්ධා) ආනන්ද තෙරුන් වහන්සේ අකුරටම පිලිපැදි සේක.  බුදු රජාණන් වහන්සේගේත් ආනන්ද තෙරුන් වහන්සේගේත් සසර සබැඳියාව අතිශයින්ම දීර්ග වන්නේය.  ආනන්ද තෙරුන් වහන්සේ ඕනෑම වේලාවක ඕනෑම කෙනෙකුට පිහිට වීමට සූදානම්ව සිටියහ.  මධුර ස්වරයකින් හා පියකරු ශරීර ශෝභාවකින් යුතු වූ උන්වහන්සේ සිත් ඇද ගන්නා සුලු ගති පැවතුම් වලින් යුක්ත විය.  කාරුණික නිහතමානී ගති පැවතුම් නිසා කාන්තා පක්ෂය ආනන්ද තෙරුන් වහන්සේට වැඩි ඇල්මක් දක්වන්නට වූහ.  එසේම ශාක්‍ය රාජ පවුලකින් පැවත එන, පිරිසිදු චරිතයකට හිමිකම් කියන උන්වහන්සේ තමා අති පූජ්‍ය බුදු රජාණන් වහන්සේගේ පුද්ගලික උපස්ථායකයානන් බවත් තමාට පැවරී ඇති භාර දූර වගකීමත් කිසිවිටෙක අම්තක නොකෙලේය.    ආනන්ද හිමියන්ට අනුරාගයෙන් බැඳුනු කාන්තාවන් බොහෝ සේ සිටින්නට ඇත.  උන්වහන්සේ හා බැඳුනු තෙරණියන්ද සිටින්නට ඇත.  නමුත් උන්වහන්සේ කිසි දිනක කිසි විටෙක චරිතය කිලිටි වන පරිදි කටයුතු කොට නැත.  මේ වෙනුවෙන් සාක්ෂි දරන්නේ බුදු හිමියන්මය.

කොසොල් රජතුමාගේ බිසෝවරු වරෙක් කොසොල් රජතුමාට මෙසේ පැවසූහ.  රජතුමනි, ඔබ වහන්සේ බුදු රජාණන් වහන්සේ බැහැ දැකීමට දිනකට තුන් වරක්  යන්නේය.  උන්වහන්සේගෙන් ධර්මය නිතරම ශ්‍රවණය කරන්නේය.  විශාකා වැනි කුල කාන්තාවන් පවා දිනපතා විහාරස්ථානයට ගොස් කුසල් රැස් කර ගනිති.  නමුත් අපි කාන්තාරයක අතර මං වී සිටින පිපාසාවෙන් පෙලෙන දුගීන් වැන්න. 

ඔබ වහන්සේ ආරාමයට යන විට, බුදු බණ ශ්‍රවනය කිරීමට අපවද කැටුව යන මැනවි. 

කාන්තාවන් කැටිව විහාරයට දිනපතා ගමන් කිරීම විහාරස්ථානයේ කටයුතු වලට, විශේෂයෙන් බුදු රජාණන් වහන්සේට බාධාවක් විය හැක.  ඒ නිසා ඔබ වෙනුවෙන් මම සුදුසු යමක් කරන්නෙමි යයි කොසොල් රජතුමා අන්තඃ පුරයේ බිසවුන්ට පැවසුවේය.   දිනක් කොසොල් රජතුමා බුදු රජාණන් වහන්සේ සමග සතුටු සාමීචි බස් පවසන අවස්ථාවෙක චත්තපානී නම් වූ අනාගාමී වූ ගිහි පුද්ගලයෙක් ගැන කොසොල් රජ තුමාට අසන්නට ලැබින.  කොසොල් රජතුමා චත්තපානී මාලිගයට කැඳවා අන්තඃ පුරයේ බිසෝ වරුන්ට ධර්මය උගන්වනු මැනැවැයි ආරාධනා කලේය.    මහ රජ තුමනි, අප වැනි ගිහියන්ට එය අකැපය.  ඒ නිසා බුදු රජාණන් වහන්සේගේ අනුග්‍රහයෙන් තෙරුන් වහන්සේ නමක් මෙම කටයුත්ත සඳහා යොදා ගන්නේ නම් මැනැවැයි පැවසීය.  එසේ රජතුමා ඒත්තු ගන්වා චත්තපානී, ඒ භාරදූර කාර්යයෙන් ගැලවුනේය.  රජතුමාද, මේ සිද්ධිය බිසෝවරුන්ට පවසා, මම බුදු රජාණන් වහන්සේ හමුවී තෙරුන් වහන්සේ නමක් මාලිගයට එවන ලෙස ඉල්ලා සිටින්නෙමැයි පැවසීය.  බිසෝ වරුනි, ඔබ කැමති මොන තෙරුන් වහන්සේගෙන් ධර්මය ඉගෙනීමටදැයි රජතුමා විචාලේය.  ආනන්ද තෙරුන් වහන්සේ බුදු රජාණන් වහන්සේගේ සාසනයෙහි ඇති ඉතාමත් සිරිමත් තෙරුන් වහන්සේය.  එසේම උන්වහන්සේගේ ස්වරයද මධුරය, විනීත ගති පැවතුම් ඇත්තේය.  අපි ආනන්ද තෙරුන් වහන්සේගෙන් ධර්මය ඉගෙනීමට කැමැත්තෙමු.  මේ බව බුදු රජාණන් වහන්සේට සැළ කිරීමෙන් පසු බුදු රජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ කැඳවා රජ මාලිගයට ගොස් බිසෝවරුන්ට ධර්මය උගන්වන ලෙසට අණ කලේය.  

බුදු රජාණන් වහන්සේ එසේ වදාල ද කොසොල් රජතුමාට සැක ඇති වූ තැන්ද තිබුණි.  බුදු රජාණන් වහන්සේ කොසොල් රජ තුමාගේ සැක දුරු කලේ ආනන්ද තෙරුන් වහන්සේගේ ගුණ වර්ණනා කරමිනි.  උන්වහන්සේ සෝථාපන්න වූ තෙරුන් වහන්සේ නමක් බවත් කවදාවත් උන්වහන්සේගෙන් වරදක් සිදු නොවන බවත් වදාල සේක.  අන්තඃ පුරයෙහි බිසෝවරු පන්සියයක් පමණ වූහ.  ඒ බිසෝවරු ආනන්ද තෙරුන් වහන්සේගේ සුමධුර කට හඬට වශී වූහ.  ඒ සියල්ලම ධර්මය හොඳින් ඉගෙන ගත්හ.  ඒ බිසොවුන්ද, ඔවුන්ගේ නොසිඳී ඇති කාමාශාවන් නිසා ආනන්ද තෙරුන්ගේ කටහඬ ශ්‍රවණය කිරීමෙන්, ආනන්ද තෙරුන්ගේ රුව ඇති පුතුන් බිහි කලහ. අන්‍යාගමිකයෝ මේ සිද්ධියෙන් කොසොල් රජතුමාගේ සිත වෙනස් කිරීමට තැත් කලහ.  කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ හමුව මේ සිද්ධිය සැල කොට සිටියේය.  භාග්‍යවතුන් වහන්සේ කරුණු දක්වා කොසොල් රජතුමාගේ සිතෙහි ඇති වික්ෂිප්ත භාවය දුරු කලේය.    කොසොල් රජතුමාගේ සැකය දුරු වූ පසු, ඒ බිසෝවරුන්ගේ කුමාරවරු ආනන්ද තෙරුන් වහන්සේගේ භාරයේ තබන ලද්දේ කොසොල් රජතුමා විසිනි.  ඒ කුමාරවරු පන්සියයක් පමණ දෙනා වැඩිවියට එළඹෙත්ම ආනන්ද තෙරුන්ගෙන් පැවිද්ද ලබාගෙන අරහත් ඵලය ලබා ගත්හ.  

වරක් කොසොල් රජතුමාට කසී රටෙන් වටිනා සලු දහසක් පමණ ත්‍යාග වශයෙන් ලැබුණි.  මෙයින් පන්සියයක් පමණ සිය අන්තඃ පුරයේ බිසෝවරුන්ට රජතුමා ත්‍යාග වශයෙන් පිරිනැමීය.  බිසෝවරුන් ඒ සළු ආනන්ද තෙරුන්ට පූජා කලහ.  එයින් ඉක්බිති ඔවුන් පැරණි වස්ත්‍රම හැඳගෙන රජතුමා බොජුන් වලඳන ශාලාවට ගියහ.  රජතුමා අලුතෙන් එවන ලද වස්ත්‍ර තිබියදී පරණ වස්ත්‍ර ඇන්දේ කුමක් නිසාදැයි බිසෝවරුන්ගෙන් විචාලේය.    එදා ධර්ම දේශනය ඉතාමත්ම සුන්දර වූ බවත් ඒ නිසා ධර්ම ත්‍යාගයක් වශයෙන් ඒ සළු සියල්ලම ආනන්ද තෙරුන්ට පූජා කල බව බිසෝ වරු පැවසූහ.  ආනන්ද තෙරුන් වහන්සේ ඒ සලු පිලිගත්තේදැයි රජතුමා විමසීය.  එසේය ස්වාමීනි බිසෝවරු පිලිතුරු දුන්හ.  කොසොල් රජතුමාට, මේ ස්වාමීන් වහන්සේලා යම්කිසි සළුපිලි වෙලඳාමක් කරත්දැයි රජතුමාට සැක සිතින.  එතුමා කෑමෙන් පසු අතේ වතුර වියලීමටත් පෙර වහාම ආරාමයට ගියේය. 

කොසොල් රජතුමා භාග්‍ය වතුන් වහන්සේ බැහැ දැකීමට පෙර ප්‍රධාන ශාලාවට ගොස් ආනන්ද තෙරුන් වහන්සේ හමුවූහ.  තෙරුන් වහන්සේට නමස්කාර කොට එකත් පස්ව හිඳ, ප්‍රශ්න කීපයක් ඇසූහ.

කොසොල් රජතුමා: තෙරුන් වහන්ස, මගේ බිසවුන් හොඳින් ධර්මය ඉගෙන් ගනිත්ද?

ආනන්ද තෙරුන් වහන්සේ: එසේය මහ රජ ඔවුන් හොඳින් ධර්මය ඉගෙන ගනිති.

කොසොල් රජතුමා:  ඔවුන් ප්‍රශ්න අසයිද?

ආනන්ද තෙරුන් වහන්සේ:   එසේය මහරජ, අවශ්‍ය ප්‍රශ්නයක් ඇත්නම් ඔවුන් ඒය අසත්.

කොසොල් රජතුමා:    ඔබවහන්සේගේ සුව දුක් ඔවුන් විචාරයිද? ඔබවහන්සේට සළුපිලි පූජා කරත්ද?

 ආනන්ද තෙරුන් වහන්සේ:     එසේය මහරජ, මට සළු පන්සියයක් පමණ ඔවුන් මට පූජා කලෝය.

කොසොල් රජතුමා:      ඔබ වහන්සේ ඒ සියල්ල පිලිගත්තෙහිද?

ආනන්ද තෙරුන් වහන්සේ:    එසේය මහ රජ මම පිලිගත්තෙමි.

කොසොල් රජතුමා:     ස්වමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබට පිලි ගැනීමට නියම කොට ඇත්තේ සළු තුනක් පමණක් නොවේද?

ආනන්ද තෙරුන් වහන්සේ:    එසේය මහරජ භික්ෂුවකගේ පුද්ගලික භාවිතයට බුදු රජාණන් වහන්සේ සිවුරු තුනක් පමණක් නියම කොට ඇතත් ඊට වඩා පිලිගැනීමට නියමයක් කොට නොමැත.  වනගතව වෙසෙන තිස්ස තෙරුන් වහන්සේ වයස අවුරුදු හතේදී   කිරිපිඬු සහිත පාත්‍රා දහසක් එක දිනකදී  පූජා වශයෙන් ලද්දේය.  උන්වහන්සේ ඒ පාත්‍රා දහසම එය අවශ්‍ය වූ දහසක් භික්ෂූන්ට පූජා කලේය.  එසේම උන්වහන්සේ බුමුතුරුණු දහසක්ද ලද්දේය.  ඒ බුමුතුරුණුද උන්වහන්සේ එය අවශ්‍ය බික්ෂූන්ට පූජා කලේය.  මම පූජා වශයෙන් ලබාගත් සලුද එසේමය.  ඒ සලු ඉරී ගිය සිවුරු ඇති භික්ෂූන්ට මමද පූජා කලෙමි. 

කොසොල් රජතුමා:    ඒ භික්ෂූන් වහන්සේලා අලුත් සිවිරු ලද කල්හි පැරණි ඉරී ගිය සිවුරු වලට කුමක් කරන්නේද?

ආනන්ද තෙරුන් වහන්සේ:   ඒ ඉරීගිය සිවුරු පිලිසකර කොට පෙරවන වස්ත්‍ර මෙන් ඔව්න් පාවිච්චි කරති. 

කොසොල් රජතුමා:   ඒ වස්ත්‍රද ඉරී ගිය කල්හි ඔවුන් කුමක් කරත්ද?

ආනන්ද තෙරුන් වහන්සේ:  මහරජ එවිට ඔවුන් ඒ ඉරී ගිය තැන් කපා අස් කොට අඳන සිවුරු වශයෙන් පරිහරණය කරති. 

කොසොල් රජතුමා:    අඳන සිවුරු ඉරෙන කොට ඔවුන් කුමක් කරත්ද?

ආනන්ද තෙරුන් වහන්සේ:   එවිට ඒ වස්ත්‍ර ඇඳ ඇතිරිලි මෙන් ඔව්න් පාවිච්චි කරති.

කොසොල් රජතුමා:   ඒ වස්ත්‍රද ඉරී යන විට කුමක් කරත්ද?

ආනන්ද තෙරුන් වහන්සේ:  මහරජ එවිට ඔවුන් ඒ වස්ත්‍ර බිමට අතුරන වස්ත්‍ර ලෙස පරිහරණය කරති.

කොසොල් රජතුමා:  ඒවා ඉරෙන විට?

ආනන්ද තෙරුන් වහන්සේ:   එවිට පා පිස දැමීම සඳහා ඒවා පරිහරණය කරති.

කොසොල් රජතුමා:   එසේ කිරීමෙන් පසු කුමක් කරයිද?

ආනන්ද තෙරුන් වහන්සේ:  මහරජ, පහන් වූ සිතෙන් ශ්‍රද්ධාවන්ත කෙනෙක් පූජා කරන කිසිම දෙයක් විනාශ කිරීම අකැපය.  ඉරුනු පා පිස දමන රෙදි පසුව මැටි හා මිශ්‍ර කොට බිත්ති හා කුටිවල බිම පිලිසකර කිරීමට පාවිච්චි කරන්නෙමු. 

කොසොල් රජතුමා ආනන්ද තෙරුන් වහන්සේ කෙරෙහි අතිශයින්ම පැහැදුනේය. ඔබවහන්සේ සැක කිරීම ගැන මම පසුතැවෙන්නෙමි.  මම ඒ වෙනුවට යමක් කරන්නෙමි යයි සිතා ආරාමයෙහිම හිඳගෙන  මාලිගයට අනෙක් සලු පන්සියයත් එවන ලෙස පණිවුඩයක් යැවීය.  ඒ සළු පන්සියයද ආනන්ද තෙරුන් වහන්සේට කොසොල් රජතුමා පූජා කලේය. 

මේ අන්දමට ආනන්ද තෙරණුවෝ පූජා භාණඩ වශයෙන් බොහෝ අවස්ථාවලදී සළුපිලි ලබා ඇත.  වෙනත් භාණ්ඩද උන්වහන්සේට පූජා කල අය අපමණය.